www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

මෙම බයිබල් පාඩම් ඔබ දන්නා අයට හඳුන්වාදෙන මෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ද දේව වචනය තුළින් ශක්තිමත් වන පිණිසයි..

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

ඇදහිල්ල චරිතය අභිබවා ගමන් කරයි.

"ඇදහිල්ල නොමැතිව දෙවියන්වහන්සේ ප්‍රසන්න කළ නොහැක." -හෙබ්‍රෙව් 11:6

අපෙන් බොහෝ දෙනෙක් චරිතය ඇදහිල්ලටත් වඩා වටින්නේය යන ඒ හැඟීමෙන් සිටින බව නොරහසකි. එසේ සිතීම වරදක් යයි මම නොකියමි. සැබවින්ම යහපත් චරිතයක් ගොඩනගා ගෙන ජීවත්වීම තරම් වටිනා දෙයක් මිනිසාට තවත් නොවන්නේ, ඒ අරමුණ මොලොව ජීවිතය පමණක් නොව නුමුත් ඒ තුලින් අපගේ මතු ජිවිතයත් යහපත් එකක් කරගැනීමට හැකි ඒ මාර්ගයත් සොයා ගැනීමට අපට හැකිවන නිසායි.

යහපත් චරිතයක් (ජිවිතයක්) ගොඩනගා ගැනීමේ අභිප්‍රාය "යහපත් අරමුණක්" බැවින් එවැනි මිනිසුන් අපි විශේෂ පුද්ගලයන්සේ සළකයි. ක්‍රිස්තියානි සමාජය තුළ පවා එවැනි යහපත් චරිතයකින් යුතු වූ පුද්ගලයන් දකිනා විට අපි ඔවුන් "ශුධවන්තයන්" ලෙසින් හැඳින්වීමට පවා මැලිනොවන්නේත් ඒ හේතුව උඩයි.

එවැන්නන් ගැන එසේ සිතීමට බලපාන අනෙක් හේතුව වන්නේ, එවැනි පුද්ගලයන් (අපටත් වඩා) දෙවියන්වහන්සේට "සමීප" පුද්ගලයන් යන පිළිගැනීමත් අප අතර වීමයි. මේ හේතුව උඩ අපට යම්කිසි ප්‍රශ්නයක් කරදරයක් හෝ අමාරුකමක් ඇතිවූ විගස, අපි එවැනි පුද්ගලයන් සොයා ගොස් ඔවුන්ට කියා දෙවියන්ට කන්නලව් කර ගැනීමට පවා පුරුදුවී සිටින්නේත්, ඔවුන් දෙවියන්ට සමීපවූ පුද්ගලයන් වන බැවින් ඔවුන් කරණ යාඥාවට ඉක්මනින් පිළිතුරු ලබාගත හැකියි යන ඒ පිළිගනිම නිසායි.

"චරිතය" පැත්තෙන් යහපත් වන විට එවැන්නන් යහපත් බැවින් ඔවුන් "ශුද්ධ වන්තයන්" ලෙසින්ද අප හඳුන්වන්නේ එවැන්නන් දෙවියන්ට සමීප පුද්ගලයන් යන ඒ පිළිගැනීමත් අප අසා තිබෙන නිසායි. වර්තමානයේ ජිවත්වන ඇදහිලිවන්තයන් වන අප අතර පවා එවැනි පිළිගැනීම් බොහෝසෙයින් දක්නට ලැබුණත්; යහපත් යැයි සැළකෙන චරිතයක් හෝ ජිවිත රටාවක් හරිලෙසින් ජිවිතයේ ගොඩනගා ගැනීමට සමත් නොවූ මිනිසුන් පවා දෙවියන්වහන්සේ ගෙන් තමුන්ගේ ඉල්ලීම් වලට පිළිතුරු ලබාගත් අවස්ථා ගැන දේව වචනයේ සඳහන් වෙයි. ඒ අතර තවත් සමහරුන් දෙවියන්වහන්සේගේ දේව සේවයට පවා දායක වෙමින් නියැළුන බවට සපයන සාක්ෂි බයිබලය තුලින් මතුවෙයි.

ඒ ගැන එක උදාහරණයක් ලෙසින් පරණ ගිවිසුම කාලයේ ජීවත්වූ රාහාබ් යන ස්ත්‍රියගේ ජීවිත කතාවද ගත හැකියි. උදාහරණයක් හැටියට පවුල් තුමා පවා ජෝෂුවා පොතේ සටහන් ඒ සිදුවීම, අලුත් ගිවිසුම කාලයේ ජීවත්වූ ඇදහිලිවන්තයන්ට "ඇදහිල්ල" ගැන පෙන්වාදීමට උදාහරණයක් ලෙසින් අරගනිමින් උගන්වනු පෙනෙයි.

"වෛශ්‍යාවක් වූ රාහාබ් නමැති ස්ත්‍රිය, ඇදහිල්ලෙන් ඔත්තුකරුවන් හොඳ සිතින් පිළිගත් බැවින්, අකීකරු වූවන් සමඟ විනාශ නොවී ආරක්ෂා වුවාය". -හෙබ්‍රෙව් 11:31

ඉශ්රායෙල් සෙනග ජෙරිකෝව තෙක් ගමන් ගත් පසු ජෝෂුවා ඔත්තුකරුවන් දෙදෙනෙක් තෝරාගෙන ඔවුන් ජෙරිකෝව නමැති ඒ නගරයේ තොරතුරු රහසින් සොයා දැනගැනීමට ඔවුන් ජෙරිකොවට රහසින් පිටත්කර හරින ලද බව ජෝෂුවාගේ කතාව වාර්තා සපයයි. නුමුත් නගරයේ වැසියන් ඔත්තුකරුවන් ඇවිත් නගරය ගැන ඔත්තු බලමින් සිටින බවට ලැබූ ආරංචියෙන් කලබලවී ඔවුන්ව සොයා අල්ලා ගැනීමට උත්සාහ කරද්දී, ඒ ඔත්තු කරුවන්ට රාහාබ් නමැති මේ ස්ත්‍රිය ඇයගේ නිවසේ සැඟවී සිටින්නට උපකාර කළ බව බයිබලයේ සඳහන් ඒ කතාව පැහැදිලිව පවසයි.

ඉශ්රායෙල් ජාතිය ජෙරිකෝව නමැති ඒ නගරය ජයගන්නට සැලසුම් කල ඒ අවදියේදී, රාහාබ් නමැති මේ ස්ත්‍රියද ජෙරිකෝව යන ඒ නගරයේම වෛශ්‍යාවක් ලෙසින් ජිවත්වූ බැව් බයිබලයේ ඇති වාර්තාව පෙන්වාදෙන්නේ ඇය ජීවත්වූ පසුබිම පෙන්වාදීමටයි.

රටේ ඔත්තු සෙවීමට ඔත්තුකරුවන් පැමිණ සිටින බව ආරංචි වී ඒ ආරංචිය රටේ රජතුමාටද දැන්වූ පසු; රජතුමාද රාහාබ් නමැති ඒ ස්ත්‍රියගේ නිවසටම සෙබළුන් යවා, රටේ ඔත්තු බැලීමට පැමිණි ඒ මනුෂ්‍යන් කොහිදැයි කියා රාහාබ් ගෙන් තොරතුරු විමසන්නට වූ බවත් ඒ වාර්තාවල සටහන් වෙයි.

රජ තුමාගේ ඒ ප්‍රශ්න කිරීමට රාහබ් විසින් රාජකීය සෙබළුන්ට දෙන පිළිතුර ජෝෂුවා ගේ පොත්වල මෙසේ වාර්තා වෙයි;

"මනුෂ්‍යන් දෙදෙනෙක් ඇවිත් මාගේ නිවසේ සිටිය බව සැබෑය. නුමුත් මා ඒ අය කොහේ සිට ආවාදැයි කියාවත්, ඔවුන් කවුරුන්ද යැයි කියාවත් නොදනිමි.
කළුවර වැටෙන්නට පෙර, නගරයේ ගේට්ටු වැසීමට වෙලාව ලංවුවිට, ඔවුන් පිටත්ව ගියේය. නුමුත් ඔවුන් කොයි පැත්තට ගියාදැයි මම නොදනිමි.
ඉක්මනින් ඔවුන් පස්සේ එලවාගෙන යන්න. ඔවුන් ඔබලාට හමුවෙනවා ඇත." යයි කියමින් රජුගේ සේවකයන් පිටත්කර යැවූ බවයි.

(මේ කතාව වැඩිදුරටත් දැනගැනීමට කැමති නම් ජෝෂුවා පොතේ දෙවැනි පරිච්චේදයේ කියවා දැනගන්න.)

බයිබලයේ පරණ ගිවිසුමෙහි ලියවී ඇති මෙම කතාව කියවන විට මේ ස්ත්‍රිය ගැන අපට පැහැදිලිවෙන අනෙක් කාරණය වන්නේ, රාහාබ් නම් වූ මේ ස්ත්‍රිය ඉතා දක්‍ෂ බොරුකාරියක්ද (රැවටිලිකාරියක්ක්) වෙන වගයි. එයට හේතුව වන්නේ ඇය විසින් රජතුමාගේ සේවකයන් හට පැවසුවේ, ඉතාමත් සූක්ෂම ආකාරයෙන් ගොතා කියනලද "බොරුක්" බවත් ඒ කතාවේම ඉතිරි කොටස තුලින් අපට පැහැදිලිවන නිසායි. .

ජෝසුවා පොතේ ලියැවී ඇති මෙම කථාවේ ඇත්ත සිදුවීම වන්නේ, ඇය ඔත්තුකරුවන් ඇයගේ නිවසේ උඩ වහලයේ පිදුරු ඇතුලේ සඟවා තබා, රජ තුමාගේ සේවකයන්ට එසේ බොරුවක් ගොතා කී බවයි.

නුමුත් මෙහිදී ඒ ගැන අප තුල පැන නගින එකම ප්‍රශ්නය වන්නේ, තම නිවසේ සිටින ඒ මිනිසුන් තම රට බලෙන් අල්ලා ගැනීමට පැමිණි "ඔත්තුකාරයන්" බව (රජතුමාගේ සේවකයන් තුලින්) ඇය පැහැදිලිව දැනගත් පසුවත්, රාහාබ් ඇයි ඒ ඔත්තුකරුවන්ව ආරක්ෂා කරගැනීමට තීරණය කලේ? යන ප්‍රශ්නයයි.

චරිතය අතින් පමණක් නොව නුමුත් ජීවිතය අතින් පවා දක්ෂ බොරුකාරියක් බව පෙනෙන රාහබ් යන මේ ස්ත්‍රිය, දුප්පත් ස්ත්‍රියක් වූ බවත් පෙනෙන්නේ ජීවත්වීමට ඇය කල රැකියාවයි. එවැනි වාතාවරණයක් තුල ඉතා දුප්පත් ජිවිතයක් ගත කල රාහාබ්ට, රටවැසියන්ට පවා සොයා ගැනීමට නොහැකි වූ ඒ "ඔත්තුකාරයන්" අල්ලා දීමෙන් රටේ රජතුමාගෙන් යම් ආකාරයක තෑග්ගක් මෙන්ම අසල්වාසීන් ගෙන් පැසසුමක්ද ලබාගැනීමට අවස්තාව තිබියදීත්, ඒ ගැන උත්සාහ කරනවා වෙනුවට, තමාගේද සතුරන් වූ ඒ ඔත්තුකාරයන්ට ආරක්ෂාව සපයාදීමට ගත් ඒ තීරණය පුදුම සහගත එකක් වන්නේ; රටේ අනාගතය පාවාදී රටේ රජතුමාට ඇය පැවසුවේ බොරුවක් බව එදා ඒ රජතුමාගේ සේවකයන් දැනගත්තා නම්, රාහබ්ගේ ජිවිතයේ අවසාණයද එය වන්නට තිබුන හේතුවයි.

තම ජීවිතය ගැනවත් නොසලකා, රටේ රජතුමාටත් බොරු කියමින් තම රටේ අනාගතය පවා පවාදීම සැබවින්ම රාජකීය උදහසට පමණක් නොව නුමුත් මරණ දඬුවම ලැබීමට තරම් බලවත් වරදක් බවත් ඇය හොඳින් දැන දැනත්, එදා මේ ස්ත්‍රිය ඒ ඔත්තු කාරයන්ව ආරක්ෂා කරගැනීමට ක්‍රියා කලේ ඇයි? කියා ඒ ගැනත් සොයා බැලීමද අපට වැදගත් වන්නේ, රාහාබ්ගේ ඇතුලාන්තය වටහා ගනු පිණිසයි.

රාහාබ්ගේ මේ පුදුම සහගත ක්‍රියාවට මුල්වූ "හේතුව" කතාවේ ඉතිරි කොටස පැහැදිලිව එළිදරව් කරයි. ඇය විසින් එසේ කිරීමට මුල්වූ හේතුව රාහාබ් විසින්ම විස්තරාත්මකව ඒ ඔත්තුකරුවන්ට පවසන ආකාරය වාර්තා වෙයි.

ඒ ගැන ඇගේම වචනයෙන් පැවසෙන්නේ;

"රාහාබ් රජුගේ සේවකයන් නිවසින් ගිය පසු; නුඹලා මිසරයෙන් (ඊජිප්තුවෙන්) පිටතට එන කල ස්වාමින් වහන්සේ නුඹලා ඉදිරියේ රතු මුහුද සිඳවු හැටිද, නුඹලා විසින් සිඳ දමන ලද යෝර්දානෙන් එතෙරව සිටිය අමොරි රජ වරුන් ගැනද ඇසිමුව. නුඹලා නිසා නුවර සියලුදෙනා භයෙන් දියවී යන ස්වභාවයකට පත්ව ඇත. මක්නිසාද නුඹලාගේ දෙවියන් ඉහල ස්වර්ගයේද පහල පොළොවෙහිද දෙවියන් බව අසා ඇත්තෙමි." යනුවෙන් පැවසු බවයි.

රාහාබ් නමැති මේ ස්ත්‍රිය සොල්දාදුවන් ගියපසු ඔත්තුකාරයන්ට පවසා සිටින මේ ප්‍රකාශය තුලින් ඇයගේ ක්‍රියාවට මුල්වූ එකම හේතුව පමණක් නොව නුමුත් ඇයගේ නොපෙණෙන මානසික පැත්ත ගැනත් යමක් පැවසෙයි. ඒ තුලින් විශේෂයෙන් කාරණා තුනක් පැහැදිලිවම ඉස්මතුවී පෙනෙයි.

1. රාහබ්ගේ කතාව ඉස්මතු කරන පළමු කාරණය වන්නේ;

"දෙවියන්ට කල හැකි ක්‍රියා ගැන" ජීවමාන දෙවියන් ඇදහු ඒ ඔත්තුකාරයන්ට වත් නොතිබුන ආකාරයේ පැහැදීමක් ඒ අන්‍ය ජාතික ස්ත්‍රියට ඉශ්රායෙල් වරුන්ගේ දෙවියන් ගැන තිබුන කාරණයයි.

"නුඹලා මිසරයෙන් (ඊජිප්තුවෙන්) පිටතට එන කල ස්වාමින් වහන්සේ නුඹලා ඉදිරියේ රතු මුහුද සිඳවු හැටිද, නුඹලා විසින් සිඳ දමන ලද යෝර්දානෙන් එතෙරව සිටිය අමොරි රජ වරුන් ගැනද ඇසිමුව"
"මක්නිසාද නුඹලාගේ දෙවියන් ඉහල ස්වර්ගයේද පහල පොළොවෙහිද දෙවියන් බව අසා ඇත්තෙමු"

දෙවියන්වහන්සේට කල හැකි ඒ ක්‍රියා ගැන ඇය අසා දැනගෙන සිටිය ඒ තොරතුරු නිසා ඇය දෙවියන් කෙරෙහි භය භක්තියෙන් පසුවූ ස්ත්‍රියක් බව පැහැදිලිව පෙනෙයි.

යෙරිකෝව යන නගරයේ ජීවත්වූ රාහාබ් යුදෙව් ජාතික ස්ත්‍රියක් හෝ දෙවියන් ඇදහු ඇදහිලිවන්තියක් හෝ නොවෙන කාරණයත් මෙහිදී අප අමතක නොකල යුත්තේ, ඇයගේ මේ ප්‍රකාශයේ ගැඹුර තේරුම් ගන්නා පිණිසයි.

ඉශ්රායෙල් සෙනග මාධ්‍යයේ වසර හතළිහක් තිස්සේ දෙවියන් කරණ ක්‍රියා ගැන ප්‍රවුර්ති ජෙරිකොවේ සිටිය මිනිසුන් දැනගෙන සිටිය බවත් පෙනෙන්නේ රාහාබ් ඒ ගැන කරන ප්‍රකාශය උඩයි. දෙවියන් ගැන ඇය දැනගෙන සිටිය තොරතුරු සහ ඒ හේතුව ඔත්තු කාරයන්ට උපකාර කිරීමට මුල්වූ බව පැහැදිලිව සටහන් වෙයි.

රාහාබ් ඔත්තුකාරයන්ට පවසා සිටින මේ ප්‍රකාශයේ අනෙක් පැත්ත වන්නේ; රාහාබ් විසින් නුඹලාගේ දෙවියන්වහන්සේ මේ නුවර නුඹලා අතට පාවාදී ඇති බව "මම දනිමි" යනුවෙන් එහිදී ඇය එසේ ඔත්තුකාරයන්ට කියා සිටියත්, සැබෑව වන්නේ; එවැන්නක් මෙතෙක් සිදු නොවීමයි. ඒ නුමුත් රාහබ්ගේ "සිතට" අනුව එය සිදුවී හමාර බව ඇය ස්ථිර ලෙසින් ඒ ඔත්තුකාරයන්ට පවසනු පෙනෙයි. ඒ වෙනුවෙන් ඇය පෙන්වාදෙන හේතුව ලෙසින් පෙනෙන්නේ, "මක්නිසාද නුඹලාගේ දෙවියන් ඉහල ස්වර්ගයේද පහල පොළොවෙහිද දෙවියන් බව අසා ඇත්තෙමු" යන පිළිගැනීමයි. එබැවින් ඇය දෙවියන් කෙරෙහි ඇති ඒ විශ්වාසය උඩ එසේ කියා සිටින බව පැහැදිලිව පෙනෙයි.

නගරය තාම අල්ලා ගැනීමක් හෝ ඒ වෙනුවෙන් සටන් කිරීමක ආරම්භයක් හෝ නුවර වැටලීමක් හෝ මෙතෙක් සිදු නොවු අවධියක, රහාබ් යන ඒ ස්ත්‍රිය, ඉශ්රායෙල් දෙවියන්ගේ ක්‍රියා ගැන ඇය දැනගෙන සිටිය තොරතුරු වලට අනුව ඉශ්රායෙල් මිනිසුන් වෙනුවෙන් ක්‍රියා කරණ ඔවුන්ගේ ඒ දෙවියන්ට කල නොහැකි දෙයක් නොමැති බව තේරුම් ගෙන් සිටිය බව පැහැදිලිව පෙනෙයි. එය පෙන්වාදෙන අනෙක් කාරණය වන්නේ ඇතුලාන්තයෙන් ඇය දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති බවයි. ඒ විශ්වාසයට මුල්වන්නේ ඇය දෙවියන් කරන ක්‍රියා ගැන අසා දැනගත් තොරතුරුයි. තමාගේ ඇසින් නොදුටුවත් ඇය අසා දැනගත් ඒ සත්‍යය කෙරෙහි විශ්වාසය තැබීම ඇයගේ ඒ ඇදහිල්ලට මුල්වෙයි. ඇදහිල්ල නම් නොපෙණෙන දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ජීවත්වීම යනුවෙන් බයිබලයේ ඇති ඉගැන්වීමද පෙන්වයි. ඔත්තුකාරයන් පවා සැකයෙන් බලන ඒ අනාගතය ගැන රාහාබ් ඇදහිල්ලෙන් ඔවුන්ට යමක් පවසනු පෙනෙයි.

2.

ඒ කතාවේ සඳහන් අනෙක් විශේෂ තොරතුර වන්නේ, ඔත්තුකරුවන් ඇයට "වැදගත් නොවූ" කාරණයයි.

හේතුව ඇය මෙහිදී ඔත්තුකාරයන් ඉදිර්යේ භය වී, ඔවුන්ට ඇති භය නිසා, නුඹලා බලවත් සටන් කරුවන් බැවින් හෝ ගැහැණියෙකු වූ මම නුඹලා දෙදෙනාට ඇති බය නිසා හෝ නුවර වැසියන් සියළුදෙනා නුඹලා දෙදෙනා නිසා භයෙන් දියවී යන තරමට නුඹලා දෙදෙනා ගැන භියවී සිටින ඒ හේතුව නිසා හෝ යැයි කියා සිටිමින්, ඒ හේතුව නිසා "මම නුඹලාට උදව් කරන්නම්" කියා කරන ප්‍රකාශයක් එහි සටහන් නොවෙයි. නුමුත් ඒ ගැන සඳහන්වී ඇත්තේ, "නුඹලාගේ දෙවියන්" නිසා යන ඒ හේතුව ඇය විසින් ඒ ඔත්තුකාරයන්ට පැවසීම පමණයි.

නුඹලාගේ "දෙවියන්" යනුවෙන් සඳහන් වී ඇති ඒ වචන පෙළ ඇයගේ අරමුණ පිටුපසින් ඇති සැඟවුන දෙවැනි හේතුව එළිදරව් කරයි. ඒ හේතුව ඉශ්රායෙල් වෙනුවෙන් පෙනීසිටින ඒ "දෙවියන්වහන්සේ " පමණක් බව ඇයගේම කතාවෙන් පැහැදිලිවෙයි.

ඔත්තුකාරයන් පවා පුදුමයට පත්කරවමින් රාහබ් කරන මේ කතාව සැබවින්ම පුදුම එකක් වන්නේ; එහි ඇය "නුඹලාගේ දෙවියන්" යන වචනය යොදාගනිමින් ඔවුන්ට එය පවසා සිටීමද දැකීමයි. රාහාබ් දෙවියන් නොඅදහන අන්‍යජාතික ස්ත්‍රියක් වුවත්, තමාගේ සතුරන් වූ ඒ යුදෙව් මිනිසුන් අදහන "ඉශ්රායෙල් වරුන්ගේ දෙවියන්" කල ක්‍රියා ගැන පැහැදිලි අවබෝධයකින් ජීවත්වූ බව පමණක් නොව නුමුත් ඒ දෙවියන් ගැන පැහැදීමකින්ද සිටිය බවත් ඇයගේ කතාව පෙන්නුම් කරයි.

රාහාබ් ඉශ්රායෙල් සෙනග අදහන දෙවියන් කරණ ක්‍රියා තම රටේ අනෙක් මිනිසුන් කරණ කට කතා තුලින් අසා දැනගෙන සිටියා පමණක් නොව නුමුත් ඒ තොරතුරු වල සත්‍යය අසත්‍යය තමා විසින් තේරුම් බේරුම් කරගත් ස්ත්‍රියක් බවත් පැහැදිලිව පෙනෙන්නේ, ඇය "ඒ දෙවියන්" කෙරෙහි අනෙක් සියල්ලට වඩා විශ්වාස තබා සිටීමත් දැකීමයි. ඉශ්රායෙල් මිනිසුන් අදහන "දෙවියන්" ගැන පැහැදිලි අවබෝධයක් ඇයට තිබු බව එයින් පිළිඹිඹු වෙයි. ඇයගේ ඒ පුද්ගලික විපරම් කිරීම තමන්ගේ සතුරා ගේ බලය රඳා පවතින රහස තේරුම් ගැනීමට හේතුවුවා විය හැකියි. එබැවින් ඇයත් ඒ දෙවියන් බොහෝ කලක සිට රහසින් විශ්වාස කිරීමට පැමිණි අයෙකු වුවා යයිද සිතිය හැකියි.

අපි බොහෝදෙනෙක් කිරීමට පුරුදුවී සිටිනවා වාගේ, "සතුරාගේ" දෙවියන් කියා හෝ "අන්‍ය ජාතිකයන්ගේ" දෙවියන් කියා හෝ, තමා අසා දැනගත් සත්‍යය තොරතුරු විපරම් කිරීමකින් තොරව අපි බොහෝවිට ඉවත දමනවා වාගේ මේ ස්ත්‍රිය නොකළ බව පෙනෙන්නේ, රාහාබ් ඒ ගැන සොයා බලා තමන් තේරුම් ගත් ඒ සරල "සත්‍යය" විශ්වාස කල අයෙකු ලෙසින් දැකීමයි. රාහාබ් සත්‍යය අල්ලා ගැනීමට උත්සාහ කරමින් ජීවත්වූ දුප්පත් ගැහැනියක් බව පෙනෙයි. ඒ අතින් රාහාබ් ඒ ඔත්තුකරුවන්ටත් වඩා ඥානවන්ත ස්ත්‍රියෙක් බවත් පැහැදිලි වන්නේ ඇය සත්‍යය අල්ලාගෙන ජීවත්වීමට උත්සාහ කල ස්ත්‍රියක් ලෙසින් දැකීමයි.

ජීවිතය දෙසත් ඉදිරිය දෙසත් පොරොන්දු දෙසත් ඇදහිල්ලෙන් බලා විශ්වාශයෙන් ඉදිරියට ගමන් කිරීම පමණක් ක්‍රිස්තියානි ජිවිතයේ සැලැස්ම බව රාහාබ්ගේ කතාවත් නැවත වතාවක් අපට මතක් කරදෙයි. එදා ජීවත්වූ ඒ රහාබ් මෙන් ඇදහිලිවන්තයන් වන අපත් පුද්ගලිකව සත්‍යය සොයා බලනවිට මතුවන ඒ සත්‍යය සාධක අල්ලාගෙන ඒවා තුලින් දෙවියන්වහන්සේ දෙස බැලීමට ඉගෙන ගැනීම අවශ්‍යය වන්නේ, සත්‍යය විශ්වස කිරීමට පමණක් නොව නුමුත් තමුන් ඉදිරියේ දිස්වන ඒ සත්‍යයට කීකරුවී ඒවා අනුගමනය කරන පිණිසයි.

රාහාබ් තම ජීවිතයටත් ඉහලින් සත්‍යයට ගරුකළ ගැහැනියක් බවත් ඇයගේ ඒ ක්‍රියාව සනාත කරයි. ක්‍රිස්තුස් වහන්සේ යන ඒ සත්‍යය ගැන පවා අප අවංකව සොයන්නේ නම් උන්වහන්සේගේ දේවත්වය දැනගැනීමට හැකි සාධක ඕනෑතරම් තිබෙයි. අප අවංකව සොයන්නේ නම්, ජීවමාන දෙවියන්වහන්සේ යන ඒ ආත්මික "සත්‍යයතාවය" පවා, සත්‍යය සාධක තුලින් දැනගැනීමට පැමිණීම එතරම් අපහසු නොවෙයි.

රාහාබ් මෙන් දේව වචනයේ "ඇදහිල්ලේ පියා" ලෙසින් සැලකෙන "ආබ්‍රහාම්" ගේ ජීවිතය පවා විශ්වාසය සහ කීකරුකම මුල්කරගත් එකක් බවත් මෙහිදී ඇදහිලිවන්තයන් වන අප තේරුම් ගත යුතු වන්නේ, අපගේ එදිනෙදා ජීවිතය මෙන්ම ආත්මික ජීවිතයත් දෙවියන්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය සහ කීකරුකම යන මේ සිද්ධාන්ත මත ඇදහිල්ලෙන් ගොඩ නැගෙන්නක් බවත් වටහාගනු පිණිසයි. එබැවින් ඇදහිලිවන්තයන් හැටියට දෙවියන්වහන්සේට අපව සම්බන්ධ කරවන ඒ මාර්ගය ගැන උනන්දුවී ජීවත්වීම ප්‍රයෝජනවත් වන්නේ ඒ තුලින් අපගේ ආත්මික ජීවිතය ගොඩනගා ගනු පිණිසයි.

රාහබ්ගේ මේ කතාව පෙන්වාදෙන අනෙක් කාරණය වන්නේ, ඇයගේ සැඟවුණ ආත්මික පැත්ත ගැනත් යම් ආකාරයක එලිදරව්වක්ද එතුලින් මතුවනු දැකීමයි. ඇය දෙවියන් අදහමින් ජිවත් වූ ස්ත්‍රියක් නොවුණත්, ආත්මික පැත්තෙන් ඇය සත්‍යය විශ්වාස කිරීමට භය නොවූ, විශ්වාසය සහ ඇදහිල්ල පෙරදැරිකරගත් ගැහැනියක් බවත් ඇයගේ ජීවිතය පෙන්නුම් කරයි.

ඇය විසින් ඇයගේ නිවසේ සැඟවීමට උපකාර කළ ඒ ඔත්තුකරුවන් ඉශ්රායෙල් වරුන් බවත් එසේම ඉශ්රායෙල් වරුන් ඇයගේ මෙන්ම ඇයගේ ජාතියේද සතුරන් බවත් ඇය හොඳින් දැන සිටියත්, මෙහිදී ඇය අන් සියල්ලටම වඩා තමන් අසා දැනගෙන සිටිය ඒ "දෙවියන්වහන්සේට" කීකරුවී, මිනිසුන්ට නොව නුමුත් ඒ සත්‍යයට කීකරුව ක්‍රියා කරනු පෙනෙයි. රාහාබ් තම සතුරාගේ දෙවියන්වහන්සේ ඉදිරියේ දක්වන ඒ කීකරුකම කෙතරම්ද නම්, ඒ වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තබා ඇය ක්‍රියා කල බවත් ඒ කතාව අපට මතක් කර සිටියි.

මේ ක්‍රියාවේ අප නොදකින ඇතුල් පැත්ත වන්නේ, රාහාබ් ඉශ්රායෙල් වරුන් අදහන ඔවුන්ගේ ඒ දෙවියන්වහන්සේ කරන බලවත් ක්‍රියා අසා දැනගෙන සිටියා පමණක් නොව, නුමුත් විශ්වාස කරන්නේ නම්, තමා අන්‍යජාතික ස්ත්‍රියෙකු වූවත්, තමාටත් ඒ දෙවියන්ගෙන් පිහිට ලබාගත හැකියි යන ඒ විශ්වාසයෙන්ද සිටි අයෙකු බවයි. ඒ විශ්වාසය උඩ පමණක් මේ ස්ත්‍රිය ඒ ඔත්තුකරුවන්ට උපකාර වීමට ඉදිරිපත්වනු පෙනෙයි. නුමුත් එය සිදුවන්නේද දෙවියන්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය උඩ පමණක් බවත් පැහැදිලි වෙයි. ඇය නොදැන සිටියත් එය සේවයක් හැටියට දෙවියන් ඉදිරියේ දිස්වෙයි. ඒ අනුව රාහාබ් තමා නොදැන සිටියත් හදවතින් කීකරුවී තමාට කලහැකි දේ දෙවියන්වහන්සේ වෙනුවෙන් කල ඒ ක්‍රියාව දේව සේවයක් බවත් පැහැදිලිව පෙනෙයි.

ඒ අනුව බලනාවිට රාහාබ්ගේ ඒ කීකරුකම පෙරදැරිකරගත් ක්‍රියාව කෙලින්ම දෙවියන්වහන්සේට සම්බන්ධව සිදුවෙයි. දෙවියන්වහන්සේගේ සැලැස්මේ කොටස්කාරියක් වීමටත් එය ඇයට මඟ පාදයි.

3.

රාහබ්ගේ කතාව ඉස්මතු කරන තුන්වැනි කාරණය වන්නේ; රාහාබ් ඇදහිල්ලෙන් තමා නුදුටු ඒ අනාගතය ගැන "ගිවිසුමක්" පිහිටුවා ගැනීමට කටයුතු කිරීමයි.

ඔත්තුකාරයන් තම නිවසින් යන්නට පෙරාතුව ඇය ඔවුන්ව ගිවිසුමකින් පොරොන්දු කරවාගත් බවත් ඒ කතාවේ වාර්තා වෙයි. ඇය විසින් කල ඒ ක්‍රියාවත් අප තුල පුදුමය උපදවයි.

රාහාබ් ගේ මේ ක්‍රියාව පෙන්වන්නේ ඇසට නෙපෙනෙන ඇයගේ ඇතුල් පැත්ත ගැනයි. ඉශ්රායෙල් මිනිසුන් අදහන දෙවියන් ඇය ඇදහු දෙවියන් නොවුණත්, අන්‍ය ජාතිකයෙකු වූ මේ ස්ත්‍රිය කට කතා තුලින් තමා අසා දැනගත් සත්‍යය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරණු පෙනෙයි. දෙවියන් කෙරෙහි මේ අන්‍ය ජාතික ස්ත්‍රිය දැක්වූ ඒ විශ්වාසය "සාමාන්‍යය" එකක් නොවූ බවට සාක්ෂි එය සපයයි. ඉශ්රායෙල් මිනිසුන් ඇදහු දෙවියන් කෙරෙහි රාහාබ් දැක්වූ අවංක විශ්වාසය එතුළින් මනාව ප්‍රදර්ශණය වෙයි.

එදා ඒ ඔත්තුකාරයන් තම නිවසින් යාමට පෙර ඔවුන් සමග "දෙවියන්වහන්සේගේ නාමයෙන්" ගිවිසුමකට එළඹීමට ඇය උනන්දු වන්නේද තමා තුල වූ ඒ දැඩි විශ්වාසය උඩයි. රාහබ් තුළවූ විශ්වාසයේ දැවැන්තකම එය පිළිඹිඹු කරයි.

ජෙරිකොවේ ඔත්තු බැලීමට පැමිණි ඒ ඔත්තුකරුවන් තුළවත් නොවූ ආකාරයේ "ඇදහිල්ලක් මෙන්ම විශ්වාසයක්" රාහාබ් නමැති මේ දෙවියන්වහන්සේ පුද්ගලිකව නොදත් ස්ත්‍රිය තුලින් දැකීම පුදුමයක් සේ පෙනුනත් එය සැබෑවක් බවත් පැහැදිලිව පෙනෙයි. බයිබලයේ ඇති මේ කථාව කියවා බලනවිට පැහැදිලි වන්නේ, සමහර ඔත්තුකරුවන් පවා ජෙරිකෝව ජයගැනීම ගැන සැක පහළකළ බවයි.

යෙරිකෝ රටේ සිටි ශක්ති සම්පන්න දැවැන්ත මිනිසුන් මෙන්ම ආරක්ෂක පවුරුද දැක, ඔත්තුකාරයන් පවා යෙරිකෝව ජයගැනීම ගැන සැක පහල කළත්, රාහබ් ගේ මනසට ඒ ගැන කිසිම සැකයක් නොතිබුණ බව පෙනෙන්නේ ඇය විසින් අනාගතය ගැන ගිවිසුමක් ඇති කරගැනීමේ සිද්ධියයි.

රාහාබ්ගේ චරිතය යහපත් ඒකක් නොවුන බව බයිබලයේ ඇති ඇයගේ ජිවිත කථාව නොසඟවා සඳහන් කරයි. ජීවිතය ගැටගසා ගැනීමට ඇය කල වෑයම එයින් එළිදරව් වෙයි. නුමුත් දෙවියන්වහන්සේ ගැන දැනගත් දේවල් තුළින් ඇය උන්වහන්සේ විශ්වාස කිරීමට පැමිණීම ඇයගේ ජිවිතය ජයගැනීමට හේතු වූ බවත් පෙනෙන්නේ අවසානයේ ඉශ්රායෙල් මිනිසුන්ද රාහාබ් සමග කල ඒ ගිවිසුම අමතක නොකර එය පැවැත්වූ බවත් එහි සඳහන් වීමයි. මෙසේ රාහාබ් දෙවියන්වහන්සේ කෙරෙහි තිබු ඇදහිල්ල සහ විශ්වාසය කරණ කොටගෙන තම ජීවිතය ආරක්ෂා කරගත්තා පමණක් නොව නුමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ කරුණාවද ලබාගත් බවත් හෙබ්‍රෙව් පොතේ ඇති පාවුල් තුමාගේ ඉගැන්වීමද පෙන්වාදෙයි.

දෙවියන්වහන්සේගේ පැත්තෙන් ඒ දෙස බැලීමේදී පෙනෙන්නේ, දෙවියන්වහන්සේට වැදගත් වන්නේ හදවතේ අවංකකම, විශ්වාසය සහ ඇදහිල්ල පමණක් බවයි. විශ්වාස කරමින් කීකරු වන්නේ නම්, උන්වහන්සේ සමාජය විසින් පහත් කරනු ලැබ සිටින පුද්ගලයන් පවා පිළිගෙන, ඔවුන්වත් උන්වහන්සේගේ පුද්ගලික සැලැස්මේ කොටසක් ලෙසින් සේවයේ පවා යොදා ගැනීමට උන්වහන්සේ කිසිවිටෙකත් අකමැති නොවෙනා ඒ කාරණයයි. දෙවියන්ගේ කරුණාව දිනා ගැනීමට අවශ්‍යය එකම සුදුසුකම වන්නේ "විශ්වාසය සහ කීකරුකම" පමණක් බවත් රාහාබ්ගේ කතාව අපට උගන්වයි.

ඒ අනුව දෙවියන්වහන්සේ ඉදිරියේ සුදුස්සන් වීමට අවශ්‍යය වන එකම සුදුසුකම වන්නේ, අවංක විශ්වාසය සහ කීකරුකම පමණක් බව හොඳින් පෙනෙයි. ඇයගේ චරිතයටත් වඩා දෙවියන්වහන්සේ ඇයගේ හදවත තුළ තිබු ඒ ඇදහිල්ලට සහ විශ්වාසයට ප්‍රසන්න වූ බවත් ඒ කතාව අපට උගන්වයි. ක්‍රිස්තු ඇදහිලිවන්තයන් වන අප මෙහිදී තේරුම් ගත යුතු ආත්මික පාඩම වන්නේ එයයි. දෙවියන්වහන්සේ විසින් අපව පිළිගනු ලබන්නේ අප එකිනෙකාගේ ජිවිත රටාව උඩ නොව නුමුත් අප එකිනෙකා තුළ දෙවියන්වහන්සේ කෙරෙහි ඇති කීකරුකම හේතුකරගෙන බවත් එය පෙන්වාදෙයි .

ඇය හොඳයිද? නැතිනම් ඇය නරකයිද? කියා ඒ ගැනවත්,
ඇය සුදුසු කෙනෙක්ද? නැද්ද? කියා ඒ ගැනවත්,
සමාජය ඇයව පිළිගන්නවාද? නැද්දැයි? කියා එයවත්,
ඇය ශුද්ධවන්තියක්ද? පව්කාරියක්ද? කියා හෝ
ඇය සුදුසුද? නැද්ද? කියා ඒ ගැන හෝ නොවෙන බවත් එය පෙන්වයි.

මිනිසුන්ගේ පැත්තෙන් අපි වැදගත් යයි සළකන මේ කිසිවක් උන්වහන්සේට වැදගත් නොවෙනා බවත් රාහාබ්ගේ කතාව අපට මතක් කරසිටියි.

එදා ජෙරිකෝව ජයගැනීමට ඉශ්රායෙල් වරුන්ට හැකිවුයේ මේ රාහාබ් නමැති වෛශ්‍යාවගේ උදව්වෙන් බව පරණ ගිවිසුම සටහන් තබයි. ඒ අනුව රාහාබ් යන ඒ නාමයත් යෙරිකෝවේ ජය ලබාගැනීමට දායක වුන බවට ඉතිහාස ගතවෙයි.

යෙරිකෝව ජයගැනීම ගැන සඳහන්ව ඇති ඒ කතාවට වඩා යමක් බයිබලයේ ඇය ගැන සඳහන් නොවුණත්, බයිබලයේ ලියවී ඇති වාර්තා දෙස විමසිල්ලෙන් බලනා විට රාහාබ් යන ඒ නාමය දෙවියන්වහන්සේගේ සැලැස්මේ විශේෂ තැනක් හිමිකර ගත බවත් ඉස්මතුවෙයි. එය පෙන්වාදෙන්නේ දෙවියන්වහන්සේ රාහාබ් යන ඒ ඇදහිල්ලෙන් පිරුනාවු ස්ත්‍රියව පිළිගත් කාරණයයි. දෙවියන්වහන්සේද ඇයගේ අවංක විශ්වාසය අමතක නොකළ බවත් ඉතිහාසයද පෙන්වාදෙයි. පාවුල් තුමාද හෙබ්‍රෙව් පොතේ ඇය උදාහරණයට ගනිමින් උගන්වන්නේද ඇයගේ නම බයිබලයේ ඇතුලත්වී තිබීමේ හේතුවයි.

යේසුස් වහන්සේගේ පෙළපත දක්වන යුදෙව් පාරම් පාරික "පියවරුන්ගේ" පෙළපත් නාමාලිය කියවන විටදී (මතෙව් ශුභාරංචිය පළමු පරිච්චේදය), අන්‍ය ජාතික ගැහැණියකු වූ "රාහබ්ගේ" නාමයත් එහි "යුදෙව් ආදී පියවරුන්ගේ" නම් සමගින් මෙසායා ලෙසින් මෙලොවට ඉපදුන ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපත් නාමාවලියේ සටහන් වී තිබීම දැකීම සැබවින්ම පුදුමයට පත්කරවන අතරම, එය පෙන්වාදෙන අනෙක් කාරණය වන්නේ ඉන්පසු ඇය ඉශ්රායෙල් මිනිසුන් මාධ්‍යයේ දෙවියන් වහන්සේ අදහමින් ජිවත් වූ බවයි. . ඒ ගැන සැකයක් ඇති නොවන්නේ දෙවියන්වහන්සේගේ පැත්තෙන් උන්වහන්සේද ඇයව පිළිගෙන ක්‍රියා කල ඒ කාරණය බයිබලයේ දැකීමට හැකිවීමයි.

රාහාබ් යන ඒ නම ඉන්පසු පරණ ගිවිසුමේ දැකීමට නොහැකි වුනත්, ඇයගේ නම යේසුස් වහන්සේගේ පෙළපත දක්වන ඒ පෙළපත් නාමය තුල දැකිය හැකියි. දාවිත් රජතුමා ගේ පරම්පරාව රාහබ්ට දාව සිදුව ඇති බවත් දාවිත් රජතුමාගේ පරම්පරාවෙන් යේසුස් වහන්සේ යන ඒ ගැලවුම්කාරයාගේ උපත සිදුවූ බවත් යුදෙව් පාරම්පරික ලියවිලි වාර්තා කරයි.

දෙවියන්වහන්සේ විසින් ඉශ්රායෙල්හි නැගිටුවන ළද බලවත්ම රජතුමා වූ "දාවිත්" නමැති ඒ රජතුමා, රාහාබ් ගේ දරුවන්ගේ පරම්පරාවෙන් බිහිවීමට තරම් දෙවියන්වහන්සේ වෙතට ඇය ලංව ජිවත්වු ඒ කාරණය මිනිසුන්ගේ පැත්තෙන් බලනවිට පුදුම සහගත එකක් සේ පෙනුණත්, දෙවියන්වහන්සේ අප දෙස බලන්නේ අප මෙන් නොවන බවත් අපට එය උගන්වයි.

මෙසේ රාහාබ් දෙවියන්වහන්සේ ගෙන් කරුණාව ළද බැව් පෙනෙයි.

ජිවිතය ගැන සලකා බැලීමේදී, සමාජය විසින් පහත්කොට සලකනු ලැබූ මේ ස්ත්‍රිය තුලින් අවසානයේදී ගැලවුකාරයාණන් වූ යේසුස් වහන්සේ පවා (ඇයගේ පරම්පරාව තුලින්) බිහිවීමට තරම් සුදුසු අයෙක් ලෙසින් වෙනස්වීමට හේතු වූ ඒ රහස කුමක්ද? කියා ඒ ගැනත් කල්පනා කර බැලීමද වර්තමානයේ ජිවත්වන ක්‍රිස්තු ඇදහිලිවන්තයන් වන අපටත් ප්‍රයෝජනවත් වන්නේ, දෙවියන්වහන්සේ මිනිසුන් ලෙසින් ක්‍රියා නොකරන බවත් තේරුම් ගැනීමටයි.

දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තබා ජිවත්වන්නා කිසිසේත් උන්වහන්සේ විසින් අහක නොදමන බවටත් එසේම ලැජ්ජාවට පත් නොවෙනා බවටත් උන්වහන්සේම බයිබලයේ පොරොන්දු දී තිබෙයි.

"උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට නොපැමිණෙන්නේ යැයි ලියවිල්ල කියන්නේය. මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහා ගන්නේය. ගැලවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේය."
-රෝම 10:11

දෙවියන්වහන්සේ කෙරෙහි අපි අන් සියල්ලට වඩා ඇදහිල්ල සහ විශ්වාසය තබා කීකරුවී ජිවත් වීමට උත්සාහ කරණ විටදී දෙවියන් වහන්සේත් අපගේ පුද්ගලික පැත්තට වඩා අපගේ අවංක හදවත දෙස බලා අප වෙනුවෙන් කරුණාවෙන් ක්‍රියාකරණ බවට ඇති පොරොන්දු පෙන්වාදෙන තවත් උදාහරණයක් ලෙසින් රාහාබ්ගේ ජිවිත කතාවත් ගතහැකියි.

(©2021 ~ ධර්මදාස ශුභාරංචි සේවය තුලින් උපුටා ගන්නා ලදී. )

මෙම පාඩම් කණ්ඩායමක් ලෙසින් ඉගෙනගැනීමට කැමතිනම් පමණක් පහත සඳහන් පිළිවෙල අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු.

0.පාඩමක් තෝරා ගැනීමට පෙර පළමුවෙන්ම දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම වෙනුවෙන් යාඥා කරන්න.

1. තෝරාගත් පාඩම කීපවතාවක් කියවාගෙන හොඳින් අවබෝධකර ගන්න.

2. සඳහන් බයිබල් පදයන්ද කියවා ඒවා හොඳින් තේරුම්කර ගන්න.

3. අවශ්‍ය නම් පාඩම ඔබගේ යාඥා කණ්ඩායමට ගැලපෙන අයුරින් නැවත සකසා ගන්න.

4. යාඥා කරන්න. පාඩම ගැනත් පාඩම බෙදාගන්නා සියළුදෙනා ගැනත් කාළය අරගෙන අවංකව යාඥා කරන්න.

5.දෙවියන්වහන්සේගේ ආලේපය නොමැතිව අපි කුමක් කළත් එහි බලයක් නොමැති බව තේරුම් ගන්න. ශුධාත්මයාණන් වහන්සේගේ පිහිට පතා යාඥා කරන්න.

6.දෙවියන්වහන්සේ ඔබට මඟපෙන්වන අයුරින් වචනය බෙදා ගන්න.